
2018 ව්‍යවහාර වර්ෂය වෙසක් පුර පසළොස්වක දිනයට ශ්‍රාවකයන් අත පත්වන ‘නමදնි හිමිඳුනි අම්රිතා ගී පුදසර’ බොදු ගී සතරකින් සමන්විතයි. සියලුම ගීත සංගීතයෙන් සහ තනුවෙන් රස මංජරියක් බවට පත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවේදියා විසිනි.
මෙහි පළමුවැනි ගීතය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති වරයෙකු වු, අග්ගමහා පණ්ඩිත අති පුජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහනාහිමියන් විසින් 1945 වසරේදී රචනා කළ හා පසුව ගායනයට අනුමැතිය ලබාදුන් ගී පද රචනයකි. මෙම ගීතය අතිවිශිෂ්ට කාව්‍ය නිර්මාණයකි. ගායනා කරනුයේ විශාරද සුනිල් එදිරිසිංහ ගායන ශිල්පියාය.
නමදිමි ඔබෙ පද පංකජ හිමිඳුනි
පවර අවිහිංසාවාදී …පරාර්ථ චර්යාවාදී
ඔබෙ රුව දැක දැක හිඳිමි
ඔබෙ ගුණ මූදේ ගිලෙමී
ඔබෙ සිරි පද සර වඳිමි…
ගොරතර දුක් සා පවසින පෙළෙනා
අසරණ ශෝකිත ජනතා
ධර්මාමෘත කිරි පොවා සැතැප්පූ
මා පෙම්බර බුදු මාතා
මා දුක දුටු ඔබ දෙනෙතින්
වැගිරෙන කරුණා කඳුලින්
තෙමෙමී ඉන් මට සැපවේ…
සග අපවග පලදෙන ගුණ ගන්ධ
සුගන්ධිත කප්තුර ඔබමැයි
ඔබ සිඹ හමනා පුණ්‍ය සමීරණ
පහස වූවද මට සැපදෙයි
ඔබෙ කරුණා මෘත ධාරා
දුක් ග්‍රීෂ්මය කර බැහැරා
මුළු ලෝකය සනසාලයි…..
ගී පද රචනය – අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහනාහිමියෝ
තනු හා සංගීත නිර්මාණය – ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය – විශාරද සුනිල් එදිරිසිංහ
මෙම ගීතය මෙතැනින් ලබාගත හැකිය:
දෙවැනි ගීතය විශාරද ආචාර්ය නන්දා මාලිනී ගායන ශිල්පිනිය විසින් ගායනා කරන ලදී. එම ගීතයේ රචනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර ගෙනි.
තපෝවන අරණේ – ඇසෙනා තුන් සරණේ
පිපෙනා හද පියුමේ – සුවඳ විකසිතවේ
සසර පින් මතුවේ
මහා තූපය ජයෝ බෝධිය – මහවිහාරය වටා පින් බිම
ඇවිද යන කල මුනිවතින් – පහන් වැට දැල්වේ
දහම් ඇස පිබිදේ
නිවා රාගය දවා ද්වේෂය – තවා මෝහය මමංකාරය
යනුව මග සිහි නුවණැසින් – නිවන් තොට ළංවේ සිත සමාහිත වේ…
ගී පද රචනය- ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
තනු හා සංගීත නිර්මාණය-ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය-විශාරද නන්දා මාලිනි
මෙම ගීතය මෙතැනින් ලබාගත හැකිය:
අවුල් වියවුල් වෙලාවක සිත නිවන බුදු අසිරිය පිළිබඳ තුන්වැනි ගීතය කුලරත්න ආරියවංශ විසින් පදරචනය කොට ඇත. එයද විශාරද සුනිල් එදිරිසිංහ ගායන ශිල්පියා විසින් ගායනා කරන ලදී. එක තැන නොරැඳෙන මනස සිත පිළිබඳ ධම්මපදයේ චිත්ත වග්ගයේ එන ‘දූරංගමන්….’ ගාථාව අනුව විරචිතයි.
දුරගමන් යයි තනිව හැසිරෙයි
ඇසට නොපෙනෙන්නේ
එවන් සිතමයි කෙලෙස් ගිනි ගන්නේ
උතුම් සදහම් ඥානයෙන් සිත නිවාගන්නේ
දුකින් ගැලවෙන්නේ…
හද ලෙනේ සැඟවී හිඳින්නේ
සිතන දේ කිසිවෙකු නොදන්නේ
යනෙන තැන රහසේය යන්නේ
නොමැත දිස්වන්නේ
නොමැත හෙළි වන්නේ…
හිතුමතේ දසතේ සරන්නේ
රස පහස සොයමින් ඇදෙන්නේ
නොදැමි වූ සිත රැක නොගන්නේ
දුක වැළඳ ගන්නේ
මරුට බිලිවන්නේ……
ගී පද රචනය – කුලරත්න ආරියවංශ (ධම්ම පදයේ චිත්තවග්ගය ඇසුරිනි)
තනු හා සංගීත නිර්මාණය – ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය – විශාරද සුනිල් එදිරිසිංහ
මෙම ගීතය මෙතැනින් ලබාගත හැකිය:
සිවුවැනි ගීතය සමුද්‍ර වෙත්තසිංහ විසින් විරචිතයි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි ධාරියෙකි. විශාරද ආචාර්ය නන්දා මාලිනිය විසින් ගැයූ මෙම ගීතය බෞද්ධ සාහිත්‍යයේ ත්‍රිපිටක ධර්මයේ බුදු පියාණන් වහන්සේ කෙරෙහිවූ විශේෂ නාමයන්ගෙන් සමලංකෘතයි.
බුද්ධරාජ ධර්මරාජ ශාක්යසිංහයාණෝ
ගෝරමාර කළපරාජ ධීර වීරයාණෝ
මහාපුරුෂයාණෝ පුරුෂ නිසභයාණෝ
බුද්ධ වීරයාණෝ….
බින්ද බමුණු මත නිර්භය සත්‍ය වාදීයාණෝ
සින්ද වහල් බැමි කේසර සිංහරාජයාණෝ
මිථ්‍යාවේ යදම් බින්ද අග්‍ර වාදීයාණෝ
බුද්ධ වීරයාණෝ….
පාරිශුද්ධ ගුණ සෝභිත ස්වර්ණ හංසයාණෝ
තෘෂ්ණා බල කොටු වැනසූ හස්ති රාජයාණෝ
නීග්‍රෝධ පරිමණ්ඩල පරම පුරුෂයාණෝ
බුද්ධ වීරයාණෝ….
ගී පද රචනය – සමුද්‍ර වෙත්තසිංහ
තනු හා සංගීත නිර්මාණය – ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය – විශාරද ආචාර්ය නන්දා මාලිනී
මෙම ගීතය මෙතැනින් ලබාගත හැකිය:
ජාති, ආගම්, කුල, වංශ, ගෝත්‍ර, ස්ත්‍රී, පුරුෂ, ධනවත්, නිර්ධන, උගත්, නුගත්, මේ කිසිදු වාද භේදයකින් තොරව කුළල් කා ගන්නා, පරිසරය වනසන, මිනිස් ජීවිත වනසන, තුරුලිය සතා සීපාවා වනසන, රාග, ද්වේෂ, මෝහාන්ධකාරය දුරුවේවා, එළඹෙන වෙසක් තුන් බුදු මඟුල ලොවට සෙත් සුවය සැනසීම නිවන ලැබීමට හේතුවාසනා වේවා…! බුදුසසුන බැබලේවා….! සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා…..!

පිටපත:
ජ්‍යෙෂ්ට කථිකාචාර්ය,
, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
‘නමදնි හිමිඳුනි’ වෙසක් බුදුගුණ ගී සියල්ල පහතින් ලබාගත හැකිය









